2014.02.25 17.21 PM
මේ කියන්න යන්නේ ටිකක් පරණ එත් පොඩ්ඩෝ ටිකක් එකතු වෙලා කරන මගෝඩි වැඩ ටිකක් තියෙන චිත්රපටයක් ගැන. නමෙන්ම දකින්න ඇතිනේ කතාව කොහොම එකක්ද කියලා. නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අරගෙන බලන්න. මොකද මෙයාලගේ තියෙන්නේ අමුතුම දර්ශණයක්. පොඩි උනාට හිතන්නේ අමුතුම විදිහට. ඒ ගැන ටිකක් පහුවෙලා කියන්නම්. මේ චිත්රපටය තිරගත වෙලා තියෙන්නේ 1994දී. මේකේ රඟපෑ පොඩි චරිත දැන් ලොකු චරිත වෙලා. මොකද අසූව දශකයේ අග භාගයේ උපත ලබපු පිරිසක් තමයි මෙහි රංගනයේ යෙදෙන්නේ. එතකොට එයාලට වයස 6-7 වගේ ඒ කියන්නේ සෙල්ලං කරන වයසේ දරුවෝ ටිකක් තමයි මේ චිත්රපටයේ ප්රධාන චරිත වෙන්නේ. ඒ වගේම IMDb අගය 6.2 ලබාගෙන තිබෙනවා.
එහෙනම් මෙන්න මේකයි කතාව. කලින් කිව්වා වගේම මේකේ ඉන්නවා කොලු පැටවූ ටිකක්. මෙයාලගේ තියෙනවා පොඩි සංගමයක්. මොකද්ද දන්නවද මේ සංගමය. ගැහැණු විරෝධී සංගමයක්. හික්ස් බටු ඇට දෙකක් උස නැහැ ඒ උනාට කොහොමද හිතන දේවල්. ඉතින් මේ සංගමේ ඉන්න අය ඒ කිව්වේ මේ බටු ඇටටික කිසිම ගැහැණු පරානයක් එක්ක ගණුදෙනුවක් නැහැ. කොටින්ම කියනවා නම් ගෙදර ඉන්න අක්කලා නංගිලා එක්කවත් නැහැ. කෙල්ලෙක් සෙල්ලං කරන්න කතා කලත් මොකක් හරි මගෝඩි වැඩක් කරලා පැනලා යනවා. කොටින්ම කියනවා නම් මේ සංගමයට ගැහැණු කියන්නේ සතුරු පාර්ශවයක්. කෙල්ලෙක් දැක්කොත් එතැනින් මාරු වෙන්නේ පිටසක්වල ජීවියෙක් දැක්කා වගේ. මේ සංගමයේ සභාපති උන්නැහේ තමයි ස්පැන්කි කියන්නේ. මේකේ ඉන්නවා ස්ටයිමි, ෆ්රොගි, පොර්කි, ඇල්ෆල්ෆා කියලා හාදයෝ දෙතුන් දෙනෙකුත්. සේරගේම අදහස ගැහැණු එපා කියන එක.
සංගමයක් උනාම තොරතුරු හුවමාරු වෙන්නත් එපැයි සාමාජිකයෝ අතරේ. ඒක කරන්නේ පීටි කියලා බලු කුක්කෙක්. මෙයාලට තරහ කාරයෝ දෙන්නෙකුත් ඉන්නවා. එයාල ගැහැණු ළමයි නම් නෙමේ පිරිමි ළමයි දෙන්නෙක්. ඉතින් මෙයාලට තියෙනවා පොඩි කාර් තරඟයක්. එකෙන් අවුරුදු 5ක්ම දිනලා තියෙන්නේ මේ සංගමයේ සාමාජිකයෙක්. මේ සැරේ මේ තරඟයට ඉදිරිපත් කරන්න හදන්නේ ස්පැන්කිගේ මිත්රයා ඇල්ෆාෆාව. එහෙම තෝරන කොට මෙයා එතන නැහැ වෙන තැනක සංගමයේ ප්රධාන නීතිය කඩනවා. ඒ කියන්නේ ගැහැණු ළමයෙක් එක්ක. මෙයාගේ හිතාගත්ත කෙලි පැංච තමයි ඩාර්ලා කියන්නේ. ඉතින් ඔන්න එහෙනම් ඔයාලට බාරයි මේ සැරේ තරඟයට මොනවා වෙයිද? ඇල්ෆාෆා ඩාර්ලා එක්ක ඉදල අහු උනාට දඬුවම මොකද්ද? ඉන් පස්සේ මේ සංගමයට මොකද වෙන්නේ? මේවා ඔයාලට උත්තර හොයන්න ලැබෙන ප්රශ්න. එහෙනම් ආයෙත් හමුවෙමු. හැමෝටම සුබ දවසක් !!!
_____________________________________________
Post a Comment